කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්
දෙවියන්වහන්සේට පමණක් ආවේණික වූ උන්වහන්සේගේ (3) සර්වවාසී ස්වභාවය.
සර්වවාසී දෙවියන්වහන්සේ.
දෙවියන්වහන්සේ සර්ව බලයෙන් සහ සර්ව ඥාණයෙන් පරිපුර්ණව සිටිනවා සේම, උන්වහන්සේ "සර්වවාසී" දෙවිකෙනෙක් බවද දේව වචනය පෙන්වාදෙයි. එයින් අදහස් වන්නේ, උන්වහන්සේට සෑම ස්ථානයකම එකම වේලාවකදී පෙනීසිටීමට හැකිබවයි. දෙවියන්වහන්සේට පමණක් සතු මේ සෑම තැනකම, එකවිට විද්‍යාමාන වීමේ හැකියාව උන්වහන්සේගේ දේවත්වය හුවා දක්වයි.
මැවුම්කාර දෙවියන් හැටියට උන්වහන්සේ මෙලොව සෑම තැනකම එකවිට එකසේ වැඩවාසය කලත්, දේව වචනය කියවා බලද්දී දෙවියන්වහන්සේ වැඩවාසය කරන විශේෂ ස්ථානයක්ද තිබෙන බවත් එහි පැහැදිලිව සටහන් වී තිබෙයි.
බයිබලයේ පරණ ගිවිසුම යන ඒ කොටසේ සඳහන් වාර්තා වලට අනුව, දේවමණ්ඩපය තුළ දෙවියන්වහන්සේගේ අභිමුඛය සැමවිටම වැඩවාසය කළ බවත් එසේම උන්වහන්සේ ස්වර්ගීය ස්ථානවල වැඩවාසය කරනා බවටත් සඳහන් වාර්තා දැකිය හැකියි. එසේම අලුත් ගිවිසුමේ සඳහන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම දෙස බලද්දී පවා එහි "මාගේ පියාණන් වහන්සේගේ ගෘහයේ බොහෝ වාසස්ථාන ඇත්තේය, එසේ නොවුනේ නම් මා විසින් නුඹලාට කියනවා ඇත” යනුවෙන් තම ගෝලයන්ට දෙවියන්වහන්සේ වැඩසිටිනා විශේෂ ස්ථානයක් ගැන සඳහන් කර තිබෙනු පෙනෙයි. (යොහාන් 14:2)
එපිස පොතේ ඇති පාවුල් තුමාගේ ඉගැන්වීම දෙස බලද්දී පවා, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පස ස්වර්ගීය ස්ථානවල වැඩ සිටියි යනුවෙන් ඔහුද උගන්වා තිබෙනු පෙනෙයි.
ඒවාට අමතරව යොහාන් විසින් අනාගතයේ සිදුවීමට යන දේවල් ගැන ලියන ලද එළිදරව් පොතේද “ස්වර්ගීය ස්ථානයක්” ගැනත් එසේම ඒ ස්ථානයේ වැඩ සිටින මහෝත්තම දෙවියන්වහන්සේ ගැනත් පැහැදිළි මෙන්ම ගැඹුරු විස්තර කිරීමක්ද කර තිබෙණු පෙනෙයි.
බයිබලයේ සඳහන් එවැනි ඉගැන්වීම් පෙන්වා දෙන්නේ, සර්වවාසී දෙවියන්වහන්සේ ලෙසින්ද මනුෂ්‍යයන් මාධ්‍යයේ ක්‍රියා කරණ මේ දෙවියන්වහන්සේට ස්ථිර වාසස්ථානයක්ද තිබෙන බවයි. එළිදරව් පොතේ සඳහන් අනාවැකි වලට අනුව එම වාසස්ථානය ස්වර්ගීය ස්ථානයක තිබෙන බවත් පැහැදිළිව සඳහන් වෙයි.
ඒවාට අමතරව පාපයට සමාව ලබාදීම පිණිස තම ජීවිතය කුරුසියේ පුජාකළ දෙවියන්වහන්සේගේ පුත්‍රයා ලෙසින් පැමිණි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සපයාදෙන පව්කමාව පිළිගැනීමට කැමතිවී ඒ තුලින් දෙවියන්වහන්සේට කීකරුවන විටදී, සීමාසහිත මිනිසුන්වන අපගේ හදවත් තුලත් මේ අසීමිත වූ ආත්මික දෙවියන්වහන්සේට වාසය කළහැකි බවත් පවසා සිටින්නේ වෙන කිසිවෙක් නොව නුමුත් දෙවියන්වහන්සේගේම පුත්‍රයාවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේමයි.
"යමෙක් මට ප්‍රේම කරන්නේ නම්, ඔහු මාගේ වචනය රක්ෂා කරන්නේය. මාගේ පියාණන් වහන්සේද ඔහුට ප්‍රේම කරණසේක. අපි ඔහු තුළට විත් ඔහු සමග වාසය කරමුව". -යොහාන් 14:23
එය සිදුවන්නේ, අප ක්‍රිස්තියානි පවුලක ඉපදුන නිසා හෝ අප අතින් සිදුවන යහපත් ක්‍රියා හේතුවෙන් නිසා හෝ නොවන බවත් පෙන්වාදෙමින් එහි යේසුස් වහන්සේ පොරොන්දු වන්නේ, හදවතින් උන්වහන්සේගේ වචනය පිළිගෙන පැවැත්වීමට අවංකව කීකරුවන පුද්ගලයන්ගේ හදවත් තුලට පැමිණෙන පොරොන්දුවයි.
දෙවියන්වහන්සේ සතු උන්වහන්සේගේ මේ සර්වවාසී ගුණාත්මකභාවය තේරුම් ගැනීමට උපකාරීවන තවත් විස්තරාත්මක විස්තර කිරීමක් දාවිත් රජතුමා විසින් ලියු ගීතිකාවක සඳහන් වේ. දාවිත් රජතුමාද උන්වහන්සේගේ මේ විශේෂ ස්වභාවය ගැන විමසා බලන්නට ඇති බවටත් සාක්ෂි ඒ ගීතිකාව අපට සපයා දෙන අතරම, දෙවියන්වහන්සේට පමණක් ආවේණිකවන උන්වහන්සේගේ මේ සර්වවාසී ස්වභාවය ගැන පැහැදිලි අවබෝධයක් අපටත් ලබාගැනීමට හැකිවන ගැඹුරු උදාහරණයක් ලෙසින්ද එය තෝරාගත හැකියි.
"ඔබගේ ආත්මය කෙරෙන් කොතැනට යන්නෙම්ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලා යන්නෙම්ද? මම ස්වර්ගයට නැගුනෙම් නුමුත්, ඔබ එහිය. ෂෙයෝළයෙහි මාගේ යහන පිළියෙළ කළ නුමුත් ඔබ එහිය. මා අරුණු පියාපතින් ගොස් මුහුදේ ඉතා දුරු කෙලවර විසුවත්; එහිදීත් ඔබගේ හස්තය මට මඟ පෙන්වන්නේය. ඔබගේ දකුණු හස්තය මා අල්ලා ගන්නේය. සැබවින් අන්ධකාරය මා වසාගන්නේය, මා වටකරින් වූ එළිය රාත්‍රිය වන්නේ යැයි කීයෙම් නුමුත්, අන්ධකාරය ඔබගෙන් කිසිවක් නොසඟවයි. රාත්‍රියද දවාල මෙන් බබළයි. අන්ධකාරයත්, එළියත් ඔබට එකසමානය".
දෙවියන්වහන්සේ ගෙන් සැඟවී සිටීමට හැකි තැනක් විශ්වයේ නොවෙන බව පෙන්වාදෙමින් දාවිත් රජතුමා උන්වහන්සේගේ සර්වවාසී ස්වභාවය ගැන කියා සිටින මේ ගීතිකාව පෙන්වාදෙන උදාහරණය, දෙවියන් අදහන ඇදහිලිවන්තයන්ට මෙන්ම උන්වහන්සේ නොඅදහන නොඇදහිලිවන්තයන්ටත් එකසේ බලපායි.
"ඔබගේ ආත්මය කෙරෙන් මම කොතැනට පලා යන්නෙම්ද? යන ඒ ප්‍රකාශය, දාවිත් රජතුමා කියා සිටින අයුරින්ම තේරුම් ගැනීමට නම්, ඒ දෙස දෙවියන්වහන්සේගේ කෝණයෙන් මෙන්ම මනුෂ්‍යාකාරවූ අපගේම කෝණයෙන්ද බැලීමට සිදුවෙයි.
"මම ස්වර්ගයට නැගුනත් ඔබ එහිය", යනුවෙන් දාවිත් රජතුමා එහි පවසන විට එයින් ඔහු අදහස් කරන්නේ, ඔහු ඇදහිලි වන්තයෙක් ලෙසින් ඒ දෙසබලා ඒ ගැන කතා කරන ආකාරයයි. හේතුව ස්වර්ගය අදාළ වන්නේ ඇදහිලිවන්තයන්ට පමණක් වීමයි. දෙවියන් අදහන ඇදහිලිවන්තයෙකු හැටියට එය ඔහුගේ විශ්වාසය බවත් පැහැදිලිව පෙනෙයි.
ඒ නුමුත් ඔහු විසින් "ෂෙයෝළය" ගැන සඳහන් කිරීමේදී ඉන් අදහස් කෙරෙන්නේ, ඔහු ගැන නොව, නුමුත් දෙවියන්වහන්සේව කැමැත්තෙන්ම එපා කරණ අය ගැනයි. ඔහු එවැන්නෙක් නොවුනත්, ඒ දෙස ඔහු දෙවියන්වහන්සේගේ වචනයට අනුව ඒ කෝණයෙන් බලා කතාකරනු පෙනෙයි.
ෂෙයෝළය නමැති ඒ ස්ථානය (නිරය) වෙන්කරනු ලබා තිබෙන්නේ දෙවියන්වහන්සේට අකිකරුවූ සාතන් වෙනුවෙන් පමණක් බව දේව වචනය පැහැදිලිව කියා සිටියි. ඒ නුමුත් දෙවියන්වහන්සේ වෙතට සම්බන්ධ වීමට කැමැත්තෙන්ම අකමැති වනවිටදී ඒ පුද්ගලයන්ටද ෂෙයෝලය අවසානයේදී උරුමවන බවත් දේව වචනය සඳහන් කරසිටින්නේ එවිට එය අපගේම කැමැත්තට අනුව කරන තෝරාගැනීමද වන නිසායි.
දාවිත් විසින් ලියනලද ඒ 139 වැනි ගීතිකාව පවසා සිටින පණිවිඩය වන්නේ, අපි දෙවියන්වහන්සේ යන ඒ සත්‍යය පිළිගැනීමට කැමති උනත් නැතත් හෝ උන්වහන්සේට කීකරුව ජිවත්වූවත් හෝ නැතත්, මිනිසුන් හැටියට මොලොව උපන් අපගෙන් කිසිවෙකුට මොලොව ජීවිතයේදී හෝ මරණයෙන් මතුවටත් දිවයන ඒ ජීවිතයේදී හෝ උන්වහන්සේගෙන් සැඟවී සිටීමට නොහැකියි යන පණිවිඩයයි. එසේ පැවසීමට මුල්වන එකම හේතුව ලෙසින් එහි දැකිය හැක්කේ, දෙවියන්වහන්සේ සතු උන්වහන්සේගේ සර්වවාසී ස්වභාවයට සීමාවක් නොමැතිවීමේ හේතුවයි. එය මේ ලෞකික ලෝකයේ මෙන්ම සදාකාලයේ ඇති ඒ ආත්මික ලෝකයේද එකසේ විද්‍යාමානවි ක්‍රියාවට නැගෙයි.
එයින් අදහස් කෙරෙන්නේ, මේ මුළු විශ්වය සාදා මවනු ලැබූ ඒ දෙවියන්වහන්සේට නෙපෙනෙන ලෙසින් සැඟවී ඇති කිසිවක් මේ මුළු පොලෝ තලයේ හෝ ස්වර්ගයෙහි හෝ නිරය ලෙසින් හඳුන්වන ඒ ෂෙයෝලයෙහි හෝ නෙවෙනා බවත් එබැවින් මැවුම්කාර ඒ දෙවියන්වහන්සේ ඉදිරියෙන් සැඟවී සිටීමට හැකි ආත්මයක් හෝ සැඟවී යාමට හැකි ස්ථානයක් හෝ මේ මුළු විශ්වයේ තවත් නොවෙනා බවත් පැවසීමයි. දේව වචනයේ සඳහන් වී ඇති ඒ ගීතිකාකාරයා පවසා සිටින්නේද ඒ ගැනයි. ආදී පියවරුන් පවා දෙවියන්වහන්සේ සර්වබලධාරී අයෙකු ලෙසින් හඳුන්වාදී ඇත්තේද උන්වහන්සේ සතු එවැනි ගුණාත්මක භාවයන් හේතුකරගෙනයි.
(දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි. /©2016- darmadasa.org)